පැතුම් නිස්සංකගේ සුපිරි ශතකය හමුවේ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි.
ඒ මුලික වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමඟය.
B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය තමන් දෙසට පෙරළාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ තීරණය වූයේ පළමුව පන්දු රැකීමටය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට එක් වෙනස්කමක් සිදුකරමින් කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබුණේ කමිල් මිෂාර වෙනුවටය.
මේ අතර ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය ආරම්භ වූ පසුවත් පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටුව අසල තරගය නැරඹීමට ආ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි තදබදයක් හටගත්තේය.
ඔස්ට්‍රේලියා ඉනිම ට්‍රැවිස් හෙඩ් සමඟින් නායක මිචෙල් මාෂ් ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට පන්දු 51කින් ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගුවේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයින්ව මදකට නිහඬ කරමින්ය.
එම සබඳතාව බිඳවැටුණේ ට්‍රැවිස් හෙඩ් ලකුණු 56කට දැවී යාමත් සමඟය.ඒ අතර වාරයේදී තරගයේ පන්දු යවමින් සිටි මතීෂ පතිරණ වම්පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, මතීෂව අද ස්කෑන් පරික්ෂණයක් සඳහා යොමු කරන බවය.
විටෙක ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 104ක් ලබා සිටියත් ඔවුන්ගේ කඩුලු 10ම ලකුණු 77ක් තුළ දවාගන්නට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත්වුණි.
සුපිරි පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවාගනිද්දී දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවාගත්තේය.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 181කට සීමාවුණි.ලකුණු 182ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත් පෙරේරායි.කුසල් ජනිත් පෙරේරා එක් ලකුණුකට දැවීගියේය.
කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලට පැතුම් සමඟ පිටියේ එක්වු කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල පන්දු 66කින් ලකුණු 97ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩයමේ ජය මාවත විවර කළේය.
මෙවර තරගාවලියේදී පිට පිට ලබාගත් තුන්වැනි අර්ධ ශතකය රැස්කරගනිමින් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත්තේය.ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 20 ට ලකුණු 20ක් රැස්කරගත යුතුව තිබුණි.
ඒ වනවිටත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකර සිටි පැතුම් නිස්සංක පහසුවෙන් එම ඉලක්කය හඹා ගියේ මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය ද වාර්තා කරමිනි.