Sri Lanka
මාඔය පිටාර ගැලුදා දංකොටූවේ ගඩොල් පෝරණු රැසක් විනාශ වේලා
2025-12-09 08:06 AM
දංකොටූව ප්‍රදේශය තුළ පමණක් ගඩොල් පෝරණු 400 ක් පමණ පවත්වා ගෙන ගොස් ඇත. මෙම ගඩොල් පෝරණු වැඩි ප්‍රමාණයක් පවත්වා ගෙන ගොස් ඇත්තේ මාඔය ආසනයේය. අමුද්‍රව්‍ය සපයා ගැනීමට පහසු වීම ඊට හේතුව වී ඇත.මෙම ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තය ආශ්‍රිතව 40000 කට ආසන්න පිරිසක් සෘජූ සහ වක්‍ර ලෙස ජීවත් වී ඇත. ගඩොල් පෝරණු ජලයට දියවී යාම හේතුවෙන් ඔවුන් දැඩි ලෙස අසරණ වී ඇති ආකාරයක් දක්නට ඇත.

තමන් වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය පිළිබදව ගඩොල් ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්. ඒ. පියරත්න මහතා අප සමග මෙසේ කියා සිටියේය.

"මාඔය පිටාර ගැලීම අපිට නම් සාමාන්‍ය දෙයක්. මොකද අවුරුද්දකට වතාවක් මාඔය පිටාර ගලන නිසා. නමුත් මගේ ජීවිත කාලයටවත් මේ වගේ විනාශයක් සිද්ධ වෙලා නෑ.

මගේ පෝරණයේ ගඩොල් ලක්ෂ 02 ක් විතර තිබූණා. ඇතැම් ගල් පුළුස්සලා විකුනන්න සුදානම් කරලා තිබුනේ. අනිත්වා පුළුස්සන්න සුදානම් කරලා තිබුනේ. ගල් පූළුස්සන්න ගෙනාපු දර විශාල ප්‍රමාණයක් ගොඩ ගහලා තිබූණා. සේවකයින් 10 දෙනෙක් පෝරණූව ආසන්නයේ ඉදිකරලා තිබුණු ගෙවල් දෙකක පදිංචි කරවලා හිටියේ.

පූළුස්සලා තිබූණූ ගල් සියල්ල ජලයට ගහගෙන ගියා. පූළුස්සන්න සූදානම් කරලා තිබුණු ගල් සියල්ලම ජලයට දිය වෙලා ගිහිං. ගඩොල් පූළුස්සන්න ගෙනාපූ දර සියල්ලම මාඔයට ගහගෙන ගිහිං. සේවකයින් නැවතිලා හිටපු ගෙවල් දෙකම කැඩිලා ගිහිං.

අපි නැවත මේ කර්මාන්තය ආරම්භ කරන්න ඕනා. මම රජයට කියන්නෙ අපිට ආධාර එපා. අපිට කිසියම් සහන ක්‍රමයකට ණය මුදලක් දෙන්න.
එතකොට අපිට පුළුවන් කර්මාන්තය නැවත ආරම්භ කරන්න. කොහොම වුනත් මේ වන විට වෙළද පළ තුළ ගඩොල් හිගයක් ඇති වෙලා තියනවා. ඒ නිසා ඇතැම් අය ගඩොල් මිල ඉහළ යවන්න ඉඩ තියනවා. ඒ ගැනත් රජය අවදානයෙන් කටයුතු කරනවා නම් හොදයි."

තරුණ ගඩොල් ව්‍යාපාරිකයෙකු වන තරුෂ ලක්ෂාන් මෙසේ කියා සිටියේය.

"මගේ පෝරණයේ ගඩොල් 17,000 ක් පුළුස්සන්න සූදානම් කරලා තිබූනේ. ගඩොල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය මැටි ලෝඩ් 19 ක් ගෙනවිත් තිබූනේ. ඒ සියල්ලම වතුරට ගහගෙන ගියා. මට දැන් හිතා ගන්න බැරිව ඉන්නේ මොනවා කරන්නද කියලා."

ගඩොල් කර්මාන්තයේ යෙදෙන සේවකයෙකු වන ජගත් රෝහණ මහතාද අප සමග කතා කළේය.

"මම දන්න රස්සාව තමයි මේ. දැන් ඉතිං රස්සාවත් ඉවරයි. ගඩොල් නිෂ්පාදනය කරන්න යොදා ගන්නා අච්චු කට්ටල පවා වතුරට ගහගෙන ගිහිං. මැටි ගන්න තැනක් නෑ හැම තැනම වතුර පිරිලා. මාස කීපයක් යන තුරු නැවත ගඩොල් නිෂ්පාදනය ආරම්භ කරන්න බැරිව යයි මගේ හිතේ.එතකල් මොනවා කරන්නද කියලයි මම මේ කල්පනා කරන්නේ. මොකද දරු පැටවුන්ට කන්න අදින්න දෙන්න එපායෑ."

ගඩොල් කර්මාන්තකරුවාගේ වත්මන් තත්ත්වය ගැන සොයා බලන්නට මාඔය දෑළ තුළ අති දුෂ්කර ගමනක නිරත වූ අපට හමුවූ බොහෝ දෙනෙකු එසේ තමන් වර්තමානයේ පත්ව ඇති තත්ත්වය ගැන කියා සිටියේය. ඔවුන් ගැන සොයා බැලීම මෙන්ම ගඩොල් කර්මාන්තය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබා දීම රට කරවන ඇත්තන්ගේ වගකීම වන්නේය.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට