Sri Lanka
මේ 31 සිට රටපුරා ලංගම බස් රථ සේවා යලි අරඹන බව මහා මාර්ග ඇමැති කියයි.
2025-12-09 07:54 AM
දෙසැම්බර් මස 31 වෙනිදා වන විට දිවයින පුරා සියළුම ලංගම බස් රථ සේවා යලි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

පැවති ජල ගැලීම හේතුවෙන් හානියට පත්ව ඇති හලාවත - කොළඹ දුම්රිය මාර්ගය, ඉරණවිල පාළම, ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත බස් ඩිපෝව සහ හලාවත - පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාළම ආසන්නයේ ඇති ස්ථානයද මෙහිදී ඇමතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදි.

ලංකා ගමන ගමන මණ්ඩලයට අයත් හලාවත බස් ඩිපෝවේ දෛනික ගමන් වාර සදහා බස් රථ 56 ක් අවශ්‍ය වන බවත්, ඒ අතරින් ඩිපෝවේ ගාල් කර තිබූ බස් රථ 27 කට ජල ගැලීම හානි සිදු වී ඇති බවද ඩිපෝ අධිකාරීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තම ඩිපෝවේ සේවකයින්ගේ මාසික වේතන සදහා රුපියල් ලක්ෂ 93 ක මුදලක් අවශ්‍ය වන බවත්, වැටුප් සදහා රදවාගෙන තිබූ මුදල් අබලන්වූ බස් රථ අළුත් වැඩියාව සදහා යොදා ගත් බවත් ඩිපෝ අධිකාරීවරයා මෙහිදී ඇමතිවරයාට පෙන්වා දුන්නේය. පවතින තත්ත්වය හේතුවෙන් මේ මාසයේ සේවක වැටුප් ගෙවීම ගැටළුවක් වී ඇති බවද ඩිපෝ අධිකාරීවරයා ඇමතිවරයාගේ අවධානයට ලක් කළේය.

සංචාරය අතර තුර මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමත්‍ය බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

හලාවත සිට වෙන්නප්පුව, නයිනමඩම දක්වා දිවෙන මුහුදු බඩ මහා මාර්ගයේ ඉරණවිල පාළමට පැවති ජල ගැලීම් හේතුවෙන් හානි සිදුවී තිබෙනවා. මෙම පාළම වෙනුවට " බේලි බ්‍රිජ් " නමින් හදුන්වන තාවකාලික යකඩ පාළමක් කඩිනමින් ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර තිබෙනවා. එම පාළම ඉදිකිරීම සදහා අවශ්‍ය කොටස් මේ වන විට එම ස්ථානයට ගෙනවිත් තිබෙනවා.

එමෙන්ම කුඩාවැව දුම්රිය ස්ථානයට ආසන්නයෙන් සහ බත්තූළුඔය පාළම ආසන්නයෙන්ද ජලය ගැලීම නිසා දුම්රිය මාර්ගයට හානි සිදුවී තිබෙනවා. හානි සිදුවී ඇති දුම්රිය මාර්ගයේ අදාල ස්ථාන වලට ගොඩ බිම ඔස්සේ ළගාවීම අති දූෂ්කර ක්‍රියාවක්. නමුත් බිදී ගොස් ඇති එම ස්ථාන කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය දුම්රිය සේවකයින් බාර ගෙන තිබෙනවා. ඒ නිසා මාස දෙකක් වැනි කාලයක් තුළ හලාවත කොළඹ දුම්රිය ධාවනය කරන්න හැකියාව ලැබේවි. හලවත පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාළම ආසන්නයේ ඇති බිදී ගොස් ඇති ස්ථානය අනතුරුව යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය සේවකයින්ට හැකියාව ලැබේවි.

ඒ අතර තුර ඇති අනිත් ගැටළුව තමයි ජලයට යට වීම නිසා අබලන් වී ඇති ලංගම බස් රථ නැවත මගී ප්‍රවාහනයට එක් කිරීම. මේ වන විට ලංගම සේවකයින් ඒ සදහා දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා. එම සේවකයින්ට රජයේ විශේෂ ස්තූතියද හිමි විය යුතුයි ඔවුන් කරනා සේවයට.

සේවකයින්ගේ කැපවීමත් ඒ සදහා රජය විසින් ලබා දෙන දායකත්වයත් අනූව දෙසැම්බර් 31 වෙනිදා වන විට සියළුම ලංගම බස් රථ නැවත සේවයට එක් කරන්න හැකියාව තිබෙන බවට විශ්වාසයක් රජය තුළ තිබෙනවා.

මෙම සංචාරයට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාන් ජානක, අජිත් ගිහාන් යන මහත්වරුන්ද එක්ව සිටියේය.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට