අසාමාන්‍ය ආකාරයට ගුවන් යානයක් වට කීපයක් තම ගම්මානය අවට අහසේ ගමන් කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව - නල්ලදරන්කට්ටුව සහ අත්තන්ගනය ගම්මාන වල වැසියෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැණුම් දීමට කටයුතු කර ඇත.
04 වැනිදා රාත්‍රී කාලයේ විනාඩි කීපයක් එම දර්ශණය දක්නට ලැබුණු බව ආරච්චිකට්ටුව ගම්වාසීන් සදහන් කරයි.
ඉතාමත්ම පහළින් ගමන් කළ ගුවන් යානයේ රෝද පවා තමන්ට හොදින් දිස්වූ බවත්,ගුවන් යානයෙන් ආලෝකයක්ද දක්නට ලැබුණු බව ඔවුන් කියා සිටියේය.කිසියම් ආපදා තත්ත්වයක් හේතුවෙන් ගුවන් යානයක් කඩා වැටේවි යන බයක් ඇති වූ බවද එම ගම්මාන වල වැසියෝ සදහන් කළේය.මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ 04 වැනිදා සවස් කාලයේ ඇද හැළුණු වැසි හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය ජලයෙන් වැසී ගොස් තිබීම නිසා එම අවස්ථාවේ ගොඩ බෑමට නියමිතව තිබූ යානයක් අවස්ථාව ලැබෙන තුරු ගුවන්නේ සිටි බවය.
ජුඩ් සමන්ත