ශරීර ගතව ඇති අමනුස්ස දෝෂයක් ඉවත් කර හැර ගොස් ඇති පෙම්වතා නැවත ගෙන්වා දීම සදහා යැයි පවසා මුදල් සහ රන් ආභරණ වංචා කළ බව කියන යුවලක් මාරවිල පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 25 ක් වන පිරිමි අයෙකුව සහ ඔහුගේ බිරිද බව කියන අවුරුදු 32 ක කාන්තාවක්වය.සැකකරු සහ සැකකාරිය ඉබ්බාගමුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන මන්ත්‍රාචාරවරයෙකුගේ දියණිය සහ බෑනා බව පොලීසිය කියයි.
නාත්තන්ඩිය වලහාපිටිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් මැද පෙරදිග රටක කලක් සේවය කරමින් සිට ඇත.අවිවාහක ඇය එරටදී මෙරට තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇත.එම සම්බන්ධතාවය දෙදෙනා මෙරටට පැමිණීමෙන් අනතුරුවද පවත්වා ගොස් ඇත.
පෙම්වතා තමන්ව හැර යමින් සිටින බව තේරුම් ගෙන ඇති කාන්තාව ඊට හේතුව සොයන්නට උත්සාහ කර ඇත.එම අවස්ථාවේදී ඇයට කුරුණෑගල - ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි දේවාලයක් පවත්වා ගෙන යන මන්ත්‍රාචාර්යවරයෙකු බව කියන අයෙකු හමුවී ඇත.කාන්තාව කථා බහ කර ඇති මන්ත්‍රාචාර්යවරයා ඇයගේ සිරුර අමනුෂ්ස දෝෂයක් ඇතුළු වී ඇති බවත්, සියල්ලට හේතුව එය බවත් පවසා ඇත.
ශරීර ගතවී ඇති අමනුස්ස දෝෂය ඉවත් කිරීම සදහා රුපියල් ලක්ෂ 26 ක මුදලක් අවශ්‍ය බව පවසා ඇත.තම සිරුරට ඇතුළු වී ඇති අමනුස්ස දෝෂය ඉවත් කර ගැනීමේ අදහසින් අදාල කාන්තාව මන්ත්‍රාචාර්යවරයා වෙත වරින් වර රුපියල් ලක්ෂ 16 ක මුදලක් ලබා දී ඇත.එම මුදල ඇය බැංකු ගත කර ඇත්තේ මන්ත්‍රාචර්යවරයාගේ බෑනා සැකකරුගේ පුද්ගලික බැංකු ගිණුමකට බව පොලීසිය අනාවරණය ඊට අමතරව කාන්තාව පළදින රන් ආභරණද ජීවම් කළ යුතු බවට පවසා ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා රන් ආභරණද සැකකරුවන් විසින් ලබා ගෙන තිබී ඇත.
සිද්ධියට මුහුණ දී ඇති කාන්තාව විසින් අදාල කටයුත්ත සදහා ලබා දීමට තිබූ ඉතිරි මුදල ලබා ගැනීම සදහා පැමිණ සිටි අවස්ථාවේදී ඒ පිළිබදව සැක සිතූ අසල්වැසි කාන්තාවක් විසින් ලබා දී තිබූ තොරතුකට අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සහ සැකකාරියගෙන් ප්‍රශ්ණ කිරීමේදී රන් ආභරණ උගක් කළ රිසිට් පත් කීපයක් සහ මුදල්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරු සහ සැකකාරිය මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ජුඩ් සමන්ත